2020 ඇමරිකානු ජනපති මැතිවරණයේදී පළමුව තම ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන ඡන්ද දායකයන්ට ඩිජිටල් සාක්ෂරතා කුසලතා ඉගැන්වීමට පොයින්ටර් ආයතනය නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ. එම ව්‍යාපෘතියට අනුව එහි වාර්තාකරුවන් වශයෙන් පෙනී සිටින්නේ විශ්වවිද්‍යාල සිසුන් වේ. මෙම වාර්තාකරුවන් ඇමරිකාව පුරා විශ්වවිද්‍යාල 11 ක් නියෝජනය කරන අතර 2020 මැතිවරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බැහැර කරමින් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමේ ආකාරය පිළිබඳව ඔවුන් තම මිතුරන් පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.
වර්තමානය තුල අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු පැතිරීම බහුල ව දක්නට ලැබෙන බැවින් මෙම මීඩියා වයිස් වෝටර් ව්‍යාපෘතියෙහි හවුල්කරුවන්ගේ ඉලක්කය වන්නේ අන්තර්ජාලය හරහා පළ වන පුවත් වල වැරදි තොරතුරු ඉවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව යෞවනයන් දැනුවත් කිරීමයි.
තවදුරටත් ඇමෙරිකානු විශ්ව විද්‍යාල සිසුන් මිලියන දෙකක් වෙත ළඟා වීමටත් ප්රජාතන්ත්රවාදය පිළිබඳව මෙන්ම ඡන්දය දීමේ දී අවබෝධ කරගත යුතු කරුණු පිළිබඳව හොඳ දැනුමක් යෞවනයන් වෙත ලබාදීමටත් මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවන් බලාපොරොත්තු වේ. මෙමගින් ශිෂ්‍යයන් අතර මාධ්‍ය සාක්ෂරතාවය වැඩි කිරීමට මෙන්ම සත්‍ය තොරතුරු හඳුනා ගැනීමේ හැකියාවත් අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීමට අවශ්‍ය අවබෝධය ලබාදීමටත් කටයුතු කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා විද්‍යුත් ඉගෙනුම් අංශ ලොවපුරා ව්‍යාප්ත කර ඇති බැවින් එහි ලියාපදිංචි ජාත්‍යන්තර පරිශීලකයන් සිය දහස් ගණනක් ඇත. එමෙන්ම පුවත්පත් විෂය මාලාව ඇතුළු අන්තර් ක්‍රියාකාරී පාඨමාලා සිය දහස් ගණනක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාවට නැංවීමට සූදානම්ය. ලෝකයේ ඉහළ පෙළේ මාධ්‍යවේදීන් මාධ්‍ය නවෝත්පාදකයන් මාධ්‍ය නිර්මාණකරුවන් දෘශ්‍ය මාධ්‍යවේදීන් වාර්තාකරුවන් ආදී බොහෝ පිරිසක් දැනටමත් මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශ්වාසය තබා ඇත.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් මහජන දැනුවත් භාවය මෙන්ම මාධ්‍ය සාක්ෂරතාවය ද මැනවින් වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි එහි හවුල්කරුවන් අපේක්ෂා කරන අතර ඔවුන්ගේ උත්සාහය මේ වන විට මල්ඵල ගැන්වෙමින් තිබෙන බව පෙනේ.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment