Press "Enter" to skip to content

කොරෝනා වෛරසය පැය 8 ක් වාතයේ රැඳෙන කතාව

කොරෝනා වෛරසය පිළිබඳව සමාජ මාධ්‍ය පුරා මේ වන විට විශාල වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින අතර නව කොරෝනා වෛරසය පිළිබඳව නවතම පුවතක් ලෙස මෙම වෛරසයට පැය අටක් වාතය තුළ රැඳී සිටිය හැකි බව ප්‍රචාරය වේ. එබැවින් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේ මෙය වාතයෙන් පැතිර යන බවට නිශ්චිත ප්‍රබල සාක්ෂියක් සොයා ගෙන නොමැති බවයි. නමුත් අනෙකුත් විද්‍යාත්මක ආයතන සමග එක්ව මේ පිළිබඳව පර්යේෂණ සිදුකරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම වෛරසය තඹ මත පැය හතරක් කාඩ්බෝඩ් මත පැය විසිහතරක් වායුගෝලයේ පැය තුනක් ප්ලාස්ටික් හා මල නොබැඳෙන වානේ මත දින දෙකක් හෝ තුනක් දක්වා හඳුනාගත හැකි බවට විවිධ සඟරා අදහස් පළ කර තිබුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේද මේ පිළිබඳව විස්තර ප්‍රචාරය විය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නොමැත.

එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ කිවිසුම් යන විට සහ කහින විට මිනිසුන්ගේ නාසයෙන් හෝ මුඛය හරහා දියර බිංදු විසි වීම තුලින් අනෙකාට මෙය සම්ප්‍රේෂණය වන බවයි. එකිනෙකා හා සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ කෙළ බිඳිති සම්ප්‍රේෂණය වීම මගින් රෝගය අනිකාට බෝවෙන බවත් වාතයෙන් මෙය බෝවන බවට තවම තහවුරු කරගෙන නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවෙන රෝග වසංගත විද්‍යා අංශය පවසයි.

එබැවින් මෙම නව කොරෝනා වෛරසය වාතයෙන් බෝ වේ යැයි සිතා අනියත බියක් ඇතිකර ගැනීම නුසුදුසු බවත් මෙය බොහෝ වේ යැයි නිශ්චිතවම හඳුනාගත් ආකාර පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
(රිෂ්මි ඉෂාරා)

සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න

1,625 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk