Press "Enter" to skip to content

මට කොරෝනා රෝගය වැළඳුනේ රාගම රෝගියාගෙන් හෝ පයිලට්ගෙන් නොවේ – වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන

මේ දිනවල කොරෝනා රෝගීන් ආශ්‍රිත පසුබිම් තොරතුරු වාර්තාකරණය ඉහළ අවධානයක් දිනාගන්නා ප්‍රවෘත්ති අංගයක් වන නිසා ඇතැම් අනුමාන හා උපකල්පණ මත වැරදි විස්තර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වේ. එයට ආසන්නතම නිදසුනක් වන්නේ පසුගියදා කොරෝනා රෝගය ආසාදනය වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පිළිබඳ පැතිර ගිය ආරංචියයි.
‘බොරු කියා රාගම රෝහලට ඇතුළත් වූ ඉතාලියේ සිට පැමිණි අය ඇසුරු කළ රෝගියාට ප්‍රතිකාර ඇත්තේ වෛද්‍ය ප්‍රියංකරය..ඔහු ආසිරි සහ නවලෝක රෝහල් වලද සායනික සේවා සඳහා පැමිණෙයි. වෛද්‍ය ප්‍රියංකර හා මාර්තු මාසයේ ඔබ සම්බන්ධ වූයේ නම් වඩාත් සැලකිලිමත් වන්න.’
යනුවෙන් අන්තර්ජාල පුවතේ දැක්විණි.
එසේම ප්‍රසිද්ධ විද්‍යුත් නාලිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි සිසු ගුවන් නියමුවාව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වූ බවටද හෙළි කර තිබුණි.
විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනට කොරෝනා රෝග තත්වය ධනාත්මකවූ බව සත්‍යයකි. නමුත් අප කළ සොයා බැලීමේදී වැළඳුණ ආකාරය ගැන පැතිරගිය ආරංචිය සහ ඔහු සේවය කරමින් සිටි රෝහල් පිළිබඳ විස්තර සම්පූර්ණයෙන්ම වැරදිය.
වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනට කොරෝනා රෝගය වැළඳුනේ රාගම රෝහලේ රෝගියාගෙන් නොවේ.
ඔහුට රෝගය ධනාත්මක වූ දිනයේම රාගම රෝහලේ සිදුවීම නිසා එහි සේවක පිරිසක් නිරෝධායනයට යොමු කළ බවට එකී රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මාධ්‍ය ඉදිරියේ කියා තිබූ කරුණක් නිසා එකම දවසක සිදුවුන සිදුවීම් දෙකක් පටලවාගෙන අන්තර්ජාලයේ මෙම වරද සිදුවිය.
වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන රාගම රෝහලේ සේවය කරන්නෙකු නොවේ. ඔහු මේ කාලයේ සේවය කරන්නේ කොළඹ ජාතික රෝහලේය. කලෙක සිට ඔහු කාසල් වීදියේ කාන්තා රෝහලේද සායන සඳහා එක්වේ.
ඔහු පුද්ගලික රෝහල් 3 ක පමණක් ‘චැනලින්’ සේවා සිදු කරයි. බොහෝ විට ඔහු දියවැඩියා රෝගීන් අතර ප්‍රසිද්ධය. ඔහු චැනලින් කරන්නේ ලංකා හොස්පිටල්, ආසිරි මෙඩිකල් සහ කිංග්ස් පුද්ගලික රෝහලේ පමණි.
නමුත් අන්තර්ජාලයේ සංසරණය වන පුවතෙහි ඔහු සම්බන්ධ නොවන රාගම රෝහලත්, නවලෝක රෝහලත් දක්වා තිබුණි. ඔහු සේවය කරන රෝහල් මොනවාද යන්න ඉතා පහසුවෙන් අන්තර්ජාලයේ ඊචැනලින් වෙබ් අඩවියෙන් පවා පරීක්ෂා කාරී විය හැකිව තිබියදී වැරදි තොරතුරු සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.
මේ අතර වෛද්‍ය ප්‍රියංකරට හිතවත් එක්තරා ප්‍රසිද්ධ ගායකයෙකුද අදාළ වැරදි පුවත ෂෙයාර් කරමින් හිතවත් වෛද්‍යවරයාට තමන්ගේ කණගාටුව පළ කළ සටහනක් අන්තර්ජාලයේ ප්‍රචාරය විය.
අනතුරුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින වෛද්‍ය ප්‍රියංකරට එකී ගායකයා අමතා සත්‍ය තත්වය පැහැදිලි කරන්නට සිදුවිය. එම ගායකයාගේ පූර්ව සටහන ඒ අනුව සංශෝධනය කර තිබූ අතර ‘රාගම රෝගියා ගැන’ සහ වැරදි රෝහල් නාම එම සටහනින් පසුව මකාදමා තිබුණි.
ඉන්පසුදාම අයිඩීඑච් රෝහලේ සිටිමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ ඇත්ත තත්වය ගැන සටහනක්ද හැමට බලාගන්නට යොමු කළේය.
එහි මෙසේ දැක්වේ.

‘පසුගිය දින කිහිපය තුළ ඔබ සැවොම මට දැක්වූ ඉමහත් සහයෝගයට මම කෘතඥ වෙමි. මගේ මිතුරන්, හිතවතුන්, රෝගීන්, පෞද්ගලිකව දන්නා සහ නොදන්නා සියලු දෙනාටමත් මගේ සුවය ඉල්ලා යාච්ඥා කිරීම සඳහා විවිධ ආගමික කටයුතුවල නිරත වූ සියල්ලන්ටත් ස්තූති කිරීමට කැමතියි. මම තවමත් IDH හි ප්‍රතිකාර ලබමින් සිටිමි.
ආසාදනය සුවවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇත. මට දැන් සනීපයි, නමුත් මට උගුර තුළ වේදනාවක් තාම තිබෙන අතර මා කතා කරන විට වේදනාව තවත් උග්‍ර වන බැවින් මට දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට නොහැකියි.
විවිධ කටකතා මගේ අසනීප තත්වය පිළිබඳව සංසරණය වී ඇති අතර මට අවශ්‍ය වූයේ ඔබ සැමට ආමන්ත්‍රණය කර සිදුවූ දේ පැහැදිලි කිරීමටය.
ඩෙංගු උණ සඳහා ප්‍රතිකාර ලබමින් සිටි මගේ එක් රෝගියෙකුගෙන් මට මෙම ආසාදනය ඇති වන්නට ඇතැයි අපි සැක කරමු. මෙම රෝගියාට සංචාරක ඉතිහාසයක් හෝ සම්බන්ධතා ඉතිහාසයක් නොතිබුණද COVID-19 සඳහා පරීක්‍ෂණයේදී ධනාත්මක විය.
ඔහු නොදැනුවත්ව මෙම ආසාදනයට නිරාවරණය වී ඇති බැවින් මෙය ඔහුගේ වරදක් නොවේ.
මෙම අවදානම සියලුම සෞඛ්‍ය සේවකයින් විසින් ගනු ලබන එකක් වන අතර ඒ සඳහා රෝගීන්ට දොස් පැවරිය යුතු නැත.
සමහර සමාජ මාධ්‍ය පෝස්ට් වල සඳහන් පරිදි මම රාගම රෝහලේ හෝ නවලෝක රෝහලේ සේවය නොකරමි. රාගම රෝහලේදී රෝග විනිශ්චය කළ රෝගියා (විස්තර ලබා නොදුන්) හෝ ගුවන් නියමුවා හෝ මැණික් ව්‍යාපාරිකයා සමග මගේ සම්බන්ධයක් තිබුනේ නැත.
මෙය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ වගකීම අප සෑම කෙනෙකුටම ඇති බව අප තේරුම් ගත යුතුය
ආසාදනය. සෞඛ්‍ය සේවකයින් තමන්ට ඇති පහසුකම් සමඟ සටන් කිරීමට උපරිම උත්සාහයක් දරති. සෙසු පුරවැසියන් ද මේ සම්බන්ධයෙන් රජයට, ත්‍රිවිධ හමුදාවට සහ සෞඛ්‍ය සේවකයින්ට සහාය විය යුතුය. රෝගීන් රැකබලා ගන්නා පුද්ගලයින් ද ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතා බැලිය යුතුය.
නැවත මට සුවය ප්‍රාර්ථනා කළ සැමට ස්තූතියි
වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන’

සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්න clearnews.lk බුක් මාර්ක් කරගන්න

13,324 views

One Comment

  1. sadew2006 sadew2006 March 28, 2020

    Get well soon dear doctor.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk