Press "Enter" to skip to content

සත්ත්ව විද්‍යා ආචාර්යවරයාගේ පොතේ කොරෝනා සුවකරන හැටි ගැන තිබුණාද?

ආචාර්ය රමේෂ් ගුප්තා විසින් රචනා කර තිබෙන සත්ත්ව විද්‍යා පොතක Covid 19 වෛරසය පිළිබඳ තතු මෙන්ම ඊට එරෙහිව නිර්මාණය කර ඇති ඖෂධයක් පිළිබඳවද විස්තර ඉදිරිපත් කර ඇති බවට එම ග්‍රන්ථයෙහි පිටුවක පින්තූරයක් සමග විස්තරයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී. එහි පරිශීලකයන් වැඩි දුරටත් මෙම ග්‍රන්ථයෙහි Covid 19 වෛරසයට එරෙහිව නිපදවන ලද ඖෂධයක් පිළිබඳ ව මෙහි කතුවරයා වන රමේෂ් ගුප්තා විසින් සඳහන් කර ඇති බවට විවිධ ප්‍රචාරණ සිදුකරන බව පෙනේ. නමුත් එම සත්ත්ව විද්‍යා ග්‍රන්ථයෙහි කොරෝනා වෛරස ප්‍රභේද පිළිබඳ තොරතුරු ඇතත් මෙම 19 නමැති නව කොරෝනා වෛරසය පිළිබඳව සඳහන් වී නොමැති බවට කරුණු අනාවරණය වී තිබේ.

මෙම පොතෙහි සෙම්ප්‍රතිශ්‍යාව ගැන සඳහන් වී ඇති කොටසේ කොරෝනා වෛරසය පිළිබඳව සඳහන් වන බවට විවිධ ප්‍රචාරණ මේ දිනවල සංසරණය වේ. මෙහි සඳහන් වන පරිදි මෙම සෙම්ප්‍රතිශ්‍යා වර්ග වලින් 75% ක් පමණ හටගන්නේ රයිනෝ වෛරසය (Rhino virus) සහ කොරෝනා වෛරසය (Corona virus) හේතුකොටගෙන බව මෙම පොතෙහි වැඩිදුරටත් සඳහන් කර ඇති බව පැවසේ. මෙම ආසාදන ඇස්ප්‍රීන් (Aspirin) ඇන්ටිහිස්ටැමින්ස් (antihistamines) ආදී ඖෂධයන් මගින් සුව කළ හැකි බවද එහි සඳහන්ව ඇති බව විස්තර වේ. නමුත් මෙම පොතෙහි Covid 19 වෛරසය පිළිබඳව හෝ ඒ සඳහා නිපදවා ඇති ඖෂධ පිළිබඳව හෝ සත්‍ය තොරතුරක් නොමැති බව වගකිවයුතු බලධාරීන් පවසා තිබේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම නව කොරෝනා වෛරසය නවතම වයිරස තත්ත්වයක් වන බැවින් ඒ පිළිබඳව කිසිවෙකු මීට පෙර කරුණු අනාවරණය කර නොමැති බවත් මේ වන තෙක් මෙම වෛරසයට එරෙහිව නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්ය. එබැවින් ආචාර්ය රමේෂ් ගුප්තා විසින් රචිත එම ග්‍රන්ථයේ මෙම කොරෝනා වෛරසය පිළිබඳව සත්‍ය තොරතුරු ඇතැයි අපට විශ්වාස කළ නොහැක. මෙම වෛරසය සාර්ස් වයිරසයේ හෝ ඉන්ෆ්ලුවෙන්සා ලක්ෂණ නොපෙන්වන බැවින් මෙය අලුත්ම ආකාරයේ දරුණු වෛරස තත්ත්වයක් බවත් ආසාදිත අයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන කුඩා දියර බිංදු හරහා ඉතා සීග්‍රයෙන් පැතිරීමේ හැකියාවක් තිබෙන බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කෙසේ වෙතත් Covid 19 යනු කොරෝනා
වෛරසයේ දරුණු ප්‍රභේදයක් බවත් එය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු රෝග තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වන බවත් මින් පෙර ඇති වූ වයිරස් වලට වඩා මෙහි දරුණු ස්වභාවයක් දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.

එබැවින් රමේෂ් ගුප්තා විසින් රචිත ග්‍රන්ථයේ මෙම Covid 19 වෛරසය ගැන හෝ එහි ප්‍රතිකාර සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධ පිළිබඳව හෝ සටහන්ව තිබීම විශ්වාස කළ නොහැක්කක් බව අප තේරුම්ගත යුතුය. එමනිසා සමාජ මාධ්‍ය තුළ අදහස් හුවමාරු කර ගැනීමේදී සත්‍ය අසත්‍ය පිළිබඳ ව විචාරශීලි නුවණින් විග්‍රහ කොට එම මාධ්‍ය මැනවින් භාවිත කිරීමට අප කටයුතු කළ යුතුයි.
(රිෂ්මි ඉෂාරා)

 

2,169 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk