සමස්ත ලෝකයම වර්තමානයේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනාව වෛරස මාරයා ගේ බලපෑමට ලක්ව තිබේ. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම රටක් ම උත්සාහ කරන්නේ මෙම වෛරසයට ප්‍රතිකර්මයක් සහ ප්‍රති ඖෂධ නිෂ්පාදනය කිරීමටත්ය. මේ වන විට විවිධ ඖෂධයන් මේ සඳහා සොයාගෙන ඇතත් තවමත් මෙම වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නොමැති බව අප සියලු දෙනාම දන්නා කරුණකි. මෙවැනි වටපිටාවක් තුල තේ පානය කිරීමෙන් මෙම වෛරස සුවකළ හැකි බව බොහෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කර තිබුනි. මෙම ප්‍රචාරයන් හි සත්‍යතාවය කෙබඳු ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කරනු ලැබුවේ හුදෙක් ජනයා මේ පුවත පිළිබද නිවැරදි තොරතුරු සොයමින් සිටින බැවිනි.
මෙම කොවිඩ් 19 වෛරසය මුලින්ම සොයාගනු ලැබුවේ ලී වෙන් ලියන් නමැති චීන වෛද්‍යවරයායි. වෛරසයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රසායනික සංයෝග කිහිපයක් තේ වල අඩංගු වන බව ප්‍රථම වරට සදහන් කර ඇත්තේ ඔහු විසිනි. සී එන් එන් නාලිකාව විසින් එම තොරතුරු ප්‍රථම වරට අනාවරණය කර ඇති බවට ප්‍රචාර පළ වුණත් සී එන් එන් නිල වෙබ් අඩවියෙහි එවන් පුවතක් දකින්නට නොලැබේ. එසේම චීන වෛද්‍යවරු රෝගීන්ට තේ පානය කිරීමට දෙන බවටද ප්‍රචාරය වුවත් ඒ පිළිබඳ ව ද නිශ්චිත සාක්ෂි තවමත් සොයාගත නොහැක. එසේම බොහෝ විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ ද තේ පානය මගින් කොරෝනා වෛරස රෝගය සුවකළ නොහැකි බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පුවත සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොරෝනා වෛරසය සඳහා එන්නතක් හෝ ඖෂධයක් තවමත් නිෂ්පාදනය කර නොමැති බවයි. මෙම වෛරසය මැඩ පවත්වා ගැනීමට දැනට තිබෙන උචිතම ක්‍රමය සමාජ දුරස්ථභාවය බවත් නිතර දෑත් සේදීමෙන් මෙය ආසාදනය වීම වළක්වා ගත හැකි බැවින් ලොව පුරා ජනතාව එම සනීපාරක්ෂක කටයුතු පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ඒවා ක්‍රියාවට නැංවීම මේ අවස්ථාවේ වඩාත් උචිත වන බවත් ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් තේ පානය කිරීම මඟින් මෙම කොවිඩ් 19 වෛරසය සුව කළ හැකි බවට පළවන මත අසත්‍ය බව තහවුරු වේ. එබැවින් අනවශ්‍ය ලෙස අසත්‍ය තොරතුරු වලට නොරැවටෙමින් තමන්ගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාව පිළිබඳවද සිතමින් බුද්ධිමත්ව කටයුතු කිරීම සියලු ලෝකවාසීන්ගේ වගකීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
(රිෂ්මි ඉෂාරා)
SOMETHING IS BETTER THAN NOTHING…………………AND …THIS SOMETHING HAS NOTHING
TO FEAR ABOUT TOO………………SO LETS GIVE A TRY