ඉන්දියාව දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් හේතුවෙන් තම රට lockdown කිරීමට හෙවත් අගුළු දැමීමට තීරණය කර තිබුණේ මීට සති කිහිපයකට පෙරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම අගුලු දැමීම තවදුරටත් දීර්ඝ කරන බව පවසා තිබෙන බව සඳහන් කරමින් විවිධ පුවත් සමාජ මාධ්‍යජාලා කළඹමින් පවතී. ඉන්දීය ප්‍රබල ජන මාධ්‍ය ආයතන දෙකක නම් උපයෝගී කරගනිමින් මෙම ව්‍යාජ පුවත් මෙසේ සංසරණය වන බව දැනගන්නට ලැබිණි. මේ පිළිබඳව කළ විමර්ශනයේදී අනාවරණය වුයේ ඉන්දීය lockdown හෙවත් අගුලු දැමීමේ ක්‍රමවේදය මෙසේ තවදුරටත් දීර්ඝ කරන බවට නරේන්ද්‍ර මෝදි මහතා විසින් කිසිදු නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත්වල සඳහන් වන්නේ ඉන්දීය රජය දින විසි එකක් සඳහා දැමූ අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය ලබන මැයි 4 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. නමුත් ඉන්දීය රජය විසින් එවැනි පුවතක් නිවේදනය කර ඇති බවට මේ වන තෙක් කිසිඳු සාක්ෂියක් වාර්තා වී නොමැත. එසේම මෙම ව්‍යාජ පුවත් indian today ලාංඡනයත් සමඟ පළවී ඇති අතර එම පුවතේ පහලින් මේ පිළිබඳ කෙටි විස්තරයක් ද ඉදිරිපත් කර තිබේ. නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ නාලිකාව මගින් ප්‍රචාරය කළ මුල් රූපයේ සඳහන් වන අකුරු වලට වඩා පැහැදිලි වෙනසක් මෙම ව්‍යාජ පුවතේ අකුරු තුළ දැකිය හැකි බවයි. එමෙන්ම ඔවුන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රූපයක් පළ කරමින් මෙම අසත්‍ය පුවත නිරූපණය කර තිබුණත් එම ඡායාරූපය මීට පෙර indian today මාධ්‍ය තුළ ප්‍රචාරය වූවක් බව සොයාගෙන තිබේ.
එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ දී පෙනී ගියේ මාර්තු 24න් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තවමත් ජාතිය අමතා නොමැති බවයි. එබැවින් අගුලු දැමීමේ ක්‍රමවේදය දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් කිසිසේත් එතුමන් විසින් ප්‍රකාශ කර නොමැති බව පැහැදිලිය. එසේම ඉන්දීය රජය විසින් පවසා ඇත්තේ කිසිදු දීර්ඝදීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් සැලසුමක් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ නමුත් මෙම ඡායාරූපය මෙන්ම තවත් ඡායාරූප කිහිපයක්ම මෙසේ ව්‍යාජ පුවත් මවමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අපට දකින්නට ලැබුණි. මෙම ඡායාරූප වලින් එක් ඡායාරූපයක සඳහන් වූයේ අප්‍රේල් පස් වනදා මෙම අගුලු දැමීමේ ක්‍රමවේදය ඉවත් කරන බවයි. එසේම දිල්ලිය අසල නීතිය කඩකරන්නන්ට වෙඩි තැබීමට නියෝග කර ඇති බවට තවත් ව්‍යාජ පුවතක් වාර්තා වී තිබුණා. මෙවැනි ව්‍යාජ පුවත් මෘදුකාංග ඇසුරෙන් නිර්මාණය කරන ලද අසත්‍ය ප්‍රචාරයන් බව මේ වන විට සොයාගෙන තිබේ. මෙවැනි ව්‍යාජ පුවත් මවමින් වගකිවයුතු නාලිකාවල නිල ලාංඡන භාවිතා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එබැවින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් ජනතාව නොමග යැවීම මෙවන් අවස්ථාවක සිදු නොවිය යුතු දෙයක් බව අප සිහිතබාගත යුතුයි.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment