Press "Enter" to skip to content

කොරෝනා හැදුණ මව හා දරුවාගේ ව්‍යාජ ෆොටෝ

නව කොරෝනා වෛරසය හමුවේ ලෝකයේ බොහෝ දෙනෙක්ට තමන්ගේ සමීපතමයන් අහිමි වී තිබේ. මෙවන් අවස්ථාවක සංවේදී පුවතක් වාර්තා කරමින් රෝහල් ඇඳක සිටින කාන්තාවක් සහ දෑස් කඳුලින් බර වූ කුඩා ළමයෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දක්නට ලැබේ.

මෙම ප්‍රචාරය සංසරණය වන්නේ එම කුඩා දරුවා තමන්ගේ මව නව කොරෝනා වෛරස මාරයාගෙන් බේරා ගන්නා ලෙස අයදින බව ප්‍රකාශ කරමිනි. එම පණිවිඩයේ මෙසේ සඳහන් වී තිබේ ” කරුණාකර මගේ අම්මව බේරා ගැනීමට මට උදව් කරන්න. මගේ අම්මා වෙනුවෙන් යාඥා කරන්න. ස්වාර්ගික පියාණනි මේ යාඥාව සිදුකරන සෑම කෙනෙක්ම නව කොරෝනා වෛරසයෙන් සහ මරණයෙන් ගලවා ගන්න” එසේම ඇය සියලු දෙනාට දේව ආශිර්වාදය ද ප්‍රාර්ථනා කරන බව එහි සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙසේ යාඥා කරන කුඩා දරුවා මෙම කොවිඩ් 19 වෛරසය වැළඳුණු ඇගේ මව වෙනුවෙන් මෙය සිදු කරනවා යැයි පැවසීම අසත්‍යයක් බවයි. රෝහල් ඇඳ මත සිටින කාන්තාව ගේ සහ දරුවාගේ රූප වසර දෙකකට වඩා පැරණි වන අතර එම දෙදෙනා අතර කිසිදු සබඳතාවක් නොමැති බවද මේවන විට සොයාගෙන තිබේ.

රෝහලේ ඇඳ මත සිටින කාන්තාවගේ රූපය 2015 වසරේදී වෙබ් අඩවි කිහිපයක පළවී ඇති අතර ඇය දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් අංශභාග රෝගයට ගොදුරු වී ඇති බව එම විස්තරයන්හි සඳහන්ව තිබේ. එම කාන්තාව තමන්ගේ ජීවිත ආධාරක යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට ඇගේ සැමියාගෙන් අවසර ඉල්ලා සිටියද ස්වාමිපුරුෂයා එය ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් ඇය පසුව සුවය ලබා තිබේ. මේ පුවත පිළිබඳව 2015 දී වාර්තා වී ඇති බැවින් මෙම නව කොරෝනා වෛරසයට සම්බන්ධ කරමින් මෙය ප්‍රචාරය කිරීම ව්‍යාජ බව අපට තහවුරු වේ.

එමෙන්ම මෙම පුවතේ සිටින දරුවාගේ ඡායාරූපයක් 2008 වසරේදී අන්තර්ජාලයේ පළ වී ඇත. එබැවින් මෙම දෙදෙනා අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මාස හතරක් තුළ මිනිසුන් ලක්ෂ ගණනක් මිය ගොස් ඇත. එමෙන්ම තවත් ලක්ෂ ගණනක් මෙම වෛරසය ආසාදනය වීමෙන් විශාල පීඩාවකට පත්ව තිබේ. එබැවින් සියලු දෙනා වෙනුවෙන් අප යාඥා කළ යුතු බව සත්‍ය නමුත් මෙවන් අසත්‍ය ප්‍රකාශ කරමින් ව්‍යාජ ඡායාරූප පළ කරමින් ජනතාව නොමග යැවීම කිසිසේත් අනුමත කළ නොහැක.

– රිෂ්මි ඉෂාරා –

633 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk