Press "Enter" to skip to content

ඉතාලි වැසියන් පාරට සල්ලි විසි කළ කතාව ඇත්තද?

කොවිඩ් 19 වෛරසයත් සමඟ ඉතාලියේ පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරනු දක්නට ලැබේ. ඒ මේ වන විට ඉතාලියේ 150792 පමණ ජනතාවක් මෙම කොරෝනා වෛරස ආසාදිතයන් බවට පත්වීමත් සමඟයි. මේත් සමගම ඉතාලියානුවන් තමන්ගේ මුදල් වීදිවලට විසි කර ඇතැයි ඡායාරූප සහිතව පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර හුවමාරු කරගෙන තිබේ.

ඉතාලි වැසියන් මූල්‍යමය අතින් කෙතරම් ශක්තිමත් වුවද මේ අවස්ථාව වන විට ඔවුන්ට එම මුදල් වල කිසිදු වටිනාකමක් නැති වී ඇත්තේ දිනෙන් දින මෙම කොරෝනා මාරයාට තම ජනතාවට බිලිවීමට සිදුව තිබීම නිසායි. ඉතාලියට කොතරම් මුදල් තිබුණ ද ජනතාව මෙම වෛරසයට බිලි වීම වළක්වා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. රජමැදුරටත් දිළිඳු පවුලටත් ස්වභාවධර්මය විසින් සලකන්නේ එක සමානව බව යළිත් පසක් කරමින් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වන්නේ මුදල්වලින් සෑම දේටම විසඳුම් ලබාදිය නොහැකි බව පසක් කරමිනි. එහෙත් ඉතාලියානුවන් තමන්ගේ මුදල් මෙසේ වීදිවලට විසි කළා යැයි පැවසෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බවට මේ වන විට කරුණු හෙළි කරගෙන තිබේ.

මෙම පින්තූර මීට වසරකට ඉහතදී ගනු ලැබූ ඒවා වන අතර මෙම ඡායාරූප වෙනිසියුලාවේදී ගනු ලදැයි සොයාගෙන තිබේ. නමුත් මෙම ඡායාරූප ලැව්ගින්නක් සේ පැතිර යන්නේ ජනතාව නොමඟ යවමිනි. 2019 මාර්තු මාසයේ දී මෙසේ මෙම ඡායාරූප ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. එසේම මෙම වීදි වල ඇති නෝට්ටු වෙනිසියුලාවේ පැරණි මුදල් නෝට්ටු බවද සොයාගෙන ඇත. 2018 වෙනිසියුලාවේ නව මුදල් නෝට්ටු වර්ගයක් භාවිතා කිරීම ආරම්භ වූ බැවින් මෙසේ ඔවුන්ගේ පැරණි නෝට්ටු වීදිවලට විසිකර දමා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම කරුණු මගින් අනාවරණය වන්නේ මෙසේ වීදි මත මුදල් නෝට්ටු විසි කරනු ලැබූ ඡායාරූප ඉතාලියේ දී ගනු ලැබූ ඒවා නොවන බවත් ඒ සමග කොරෝනා වෛරසයෙද කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත්ය.
(රිෂ්මි ඉෂාරා)

8,199 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk