මේ මොහොත වන විට කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දහස් ගණනක් ජනතාව මිය යමින් සිටින බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. ලොව පුරා මෙම කොරෝනා වෛරසයෙන් මිය ගිය පිරිසෙන් වැඩිම ජනතාවක් මරණයට පත්වූයේ ඉතාලියෙනි. ඔවුන්ගේ මරණ ප්‍රතිශතය වැඩි වීමත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේදී මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පෙන්වන වීඩියෝවක් ලොව පුරා රටවල් විශාල ප්‍රමාණයක සංසරණය වෙමින් පවතී. නමුත් මෙය සත්‍ය සිදුවීමක් නොවන බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.
මෙම වීඩියෝ පටය අන්තර්ජාලය තුළ හුවමාරු වන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් තුළ සංවේගය උපදවමිනි. මෙම වීඩියෝවෙහි පුද්ගල මළ සිරුරු බිම වැතිරී තිබෙන අයුරු ඉතා පැහැදිලි ලෙස පෙන්වයි. නමුත් මෙම වීඩියෝව හොඳින් පරික්ෂා කළ විට එය සත්‍ය සිදුවීමක් නොවන බව සොයාගෙන ඇත. රූපවාහිනී කතා මාලාවක් තුළින් මෙම වීඩියෝ පටය රැගෙන ඇති බවත් එම රූප රාමු සහිත වීඩියෝව ඉතාලියෙහි මෙම නව කොරෝනා වෛරසය සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවටත් මේ වන විට කරුණු හෙළිවී තිබේ.
යූ ටියුබ් (youtube) හරහා මේ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් මෙය 2007 දී නිකුත් කරන ලද pandemic නම් රූපවාහිනී කතා මාලාවක් තුල අන්තර්ගතව තිබූ වීඩියෝ පටයක කොටසක් බවට කරුණු හෙළිවී තිබේ. මෙම වීඩියෝ පටයට අමතරව ඒ සදහා සම්බන්ධ තවත් විඩියෝ පට කිහිපයක් ද යූටියුබ් තුළ දක්නට ලැබේ.
ඉහත කරුණු තුළින් අනාවරණය වන්නේ නව කොරෝනා වෛරසය හේතුවෙන් වීදිවල මියගොස් වැතිර සිටින ජනතාව ලෙස ප්‍රචාරය කරමින් මෙසේ පැතිර යන වීඩියෝ පටය සැබැවින්ම ඉතාලියේ මෙම සිද්ධිය සමග කිසිදු සම්බන්ධතාවක් නොපවත්වන බවයි. එබැවින් මෙවන් අසත්‍ය ප්‍රචාරයන් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමට ප්‍රථමයෙන් දෙවරක් සිතා බැලීම තුළින් මෙවන් අසත්‍ය ප්‍රචාරයක් විශාල ලෙස සංසරණය වීම වලක්වාගත හැක.
(රිෂ්මි ඉෂාරා)
Be First to Comment