Press "Enter" to skip to content

කැනඩා අගමැති සහනාධාර දෙන්න ආපු කතාව

කොවිඩ් 19 පැතිරයාමත් සමඟ ලොව පුරා බොහෝ පුවත් මැවෙමින් තිබේ. මේ අතරතුර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කොවිඩ් 19 සඳහා සහන ද්‍රව්‍ය ඇසුරුම් කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු පෙනෙන්නට ඇත. බොහෝ දෙනා මෙම වීඩියෝ පටය අගය කරමින් තමන්ගේ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණේ කැනේඩියානු අගමැතිගේ මෙම ක්‍රියාව ප්‍රශංසා කරමිනි. එමෙන්ම ඇතැමුන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි මහතාට ද මෙම කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාව සමාන කර තිබුණි.

මෙම වීඩියෝ පටයට අදාළ ශීර්ෂපාඨයන්හි සදහන්ව ඇත්තේ “කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා තම රටවැසියන්ට උදව් උපකාර කරනු ලබයි” යනුවෙනි. කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ ඔහුද උපරිම ලෙස ජනතාව වෙනුවෙන් තම සේවය ඉටුකරන බැවිනි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙවන් සහන වැඩපිළිවෙළවල් කෙරෙහි ඔහුගේ දැඩි අවධානය යොමු කර තිබීම සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ ක්‍රියාවකි. කෙසේවෙතත් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ සහන පැකේජ පිළියෙල කිරීමට උදව් කිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ මෙය ප්‍රබල නායකයෙකු විසින් කරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් වීම හේතුවෙනි.

නමුත් මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමේදී අපට තහවුරු වූයේ මෙය ව්‍යාජ පුවතක් බවයි. එමෙන්ම මෙම වීඩියෝව 2017 දී ගනු ලද්දක් බවත් ඔහු ඉස්ලාමීය සහන කැනඩාව නමින් මුස්ලිම් පුණ්‍යායතනයක් සමඟ එම ආහාර පෙට්ටි ඇසුරුම් කිරීමට කටයුතු කරන බවත් අපට සොයා ගැනීමට හැකි විය. නමුත් කොවිඩ් 19 අළලා ලියැවුණු මේ පුවත දැන් බොහෝ දෙනා අතර සංසරණය වී හමාරය. එසේ වුවද මෙය නව කොරෝනා වෛරසය සමග කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන වීඩියෝවක් බව අපට තහවුරු වී තිබේ.

ලොව අනෙකුත් රටවල් මෙන් කැනඩාව ද මේ වන විට තමන්ගේ රාජ්‍යය අගුලු දමා තිබේ. මෙවන් අවස්ථාවක මෙවැනි වීඩියෝ පටයක් සංසරණය වන විට ඒ පිළිබඳව වඩාත් ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙම බෙදාහදාගන්නා වීඩියෝව තුල ඉස්ලාමීය සහන කැනඩාව ලාංඡනය තිරය මත පෙනෙනු දක්නට ඇත.

රාමදාන් සඳහා ආහාර පෙට්ටි සකස් කිරීමේ ප්‍රජා ක්‍රියාකාරකමක් වෙනුවෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ තම සහයෝගය දක්වා තිබේ. ඉස්ලාමීය සහන කැනඩාව විසින් මෙම වීඩියෝව 2017 වසරේදී යූටියුබ් මාධ්‍ය තුළද ප්‍රචලිත කොට තිබේ.

තවත් ආකාරයකින් විමසා බැලුවහොත් එරට අගුළු දමා ඇති මෙවන් අවස්ථාවක් තුලදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රජා ක්‍රියාකාරකම් සමග සහභාගි වීම විශ්වාස කළ නොහැක්කකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බොහෝ දෙනා අතර සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙවැනි වටපිටාවක් තුල කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රජා ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් සහභාගි වූයේ යැයි පැවසෙන පණිවිඩය ව්‍යාජ පණිවිඩයකි. එමෙන්ම මෙම පණිවිඩය අළලා ප්‍රචාරය වන වීඩියෝ පටය ද පැරණි වීඩියෝ පටයකි. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් මහතා විසින් කැනඩාවේ අගුලු දැමීමේ දින වකවානු තවදුරටත් දීර්ඝ විය හැකි බවටයි යම්කිසි ඉඟියක්ද ලබා දී ඇති මෙවන් අවස්ථාවක මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීම කිසිසේත් අනුමත කළ නොහැක.

– රිෂ්මි ඉෂාරා –

2,883 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk