පවතින වසංගත තත්වය හමුවේ ඉන්දියාව තවදුරටත් තමන්ගේ රට ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය දීර්ඝ කිරීමට තීරණය කොට තිබුණි. මෙම lockdown කිරීමේ කාල වකවානුව තුළ ගුජරාටයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් වන පුවතක් බොහෝ දෙනා අතර හුවමාරු වෙමින් තිබේ.
ඉන්දියාවේ අගුලු දැමීමේ කාලසීමාව තුළදී ඉන්දීය දිළිඳු ජනතාව කොරිඩෝවක බිම නිදා සිටින ඡායාරූපයක් සමග මෙම පුවත සංසරණය වන බව දක්නට ලැබේ. මෙම ඡායාරූප මගින් මෙහි සිටින ජනතාව ඉන්දීය වැසියන් බවත් ඔවුන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දරා තිබේ.
“ගුජරාටයේ මෙම කම්කරුවන් ගැන මාධ්‍ය සිතන්නේ කුමක්ද? ඔවුන් කොටු වී හෝ සැඟවී සිටින අය ලෙස සලකනු ඇති ද? ඔවුන්ට මුදල් සලාක හෝ කෑම ලබා ගැනීමට ක්‍රමවේදයක් කොහෙද?” ආදී වශයෙන් ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප වැඩි වශයෙන් බෙදා හදා ගෙන තිබුණි. ට්විටර් මාධ්‍ය ඔස්සේ ද මෙම පණිවිඩය බෙදා හදාගෙන තිබුනේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ටද විවිධ දෝෂාරෝපණ එල්ල කරමිනි. මෙම අසරණ පුද්ගලයන් අගුලු දැමීම නිසා අතරමංව සිටින බවත් රජයේ කිසිදු නිලධාරියෙක් හෝ කිසිදු රූපවාහිනී නාලිකාවක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති බවත් සඳහන් කරමින් මෙම පුවත බෙදාහදා ගත් ජනතාව විවිධ චෝදනා එල්ල කර තිබුණි.
නමුත් මෙහි සත්‍ය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමේ දී තහවුරු වී ඇත්තේ මෙය ඉන්දියාවේ දී ලබාගත් ඡායාරූපයක් නොව මැලේසියාවෙන් ලබාගත් ඡායාරූපයක් බවයි. එමෙන්ම එයට ඉන්දියාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මේ වන විට තහවුරු වී තිබේ. ඊට අමතරව ඉන්දීය දිනපතා පුවත්පත් තුළින් මෙම කරුණු සොයා බැලීමේදී එවන් සාක්ෂි සහිත ලිපියක් සොයාගැනීමට අපට නොහැකි විය. නමුත් මෙහි සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට අපට අවස්ථාව හිමිවීමත් සමග මෙම ඡායාරූපය මැලේසියාවේ සිරවී සිටින බංගලාදේශ සංක්‍රමණිකයන් නැවත සිය රටට යාමේ අරමුණෙන් එරට ආගමන විගමන කාර්යාලයේ නැවතී සිටිනා අයුරු විදහා දැක්වෙන පින්තූරයක් බව තහවුරු විය. නීති විරෝධී ලෙස රට තුළ වාසය කරන බංගලාදේශ සංක්‍රමණිකයින්ට තම මව් රටට ආපසු යාමට මැලේසියානු රජය විසින් ලබා දුන් අවස්ථාවක් මෙසේ ඡායාරූපයට නගා ඇත. එබැවින් මෙය කිසිසේත් ඉන්දියාවේ අගුලු දැමීම හා මෙම නව කොරෝනා වෛරසය සමඟ කිසිදු සබඳතාවක් නොදක්වන බව පැහැදිලිය.
– රිෂ්මි ඉෂාරා –
Be First to Comment