Press "Enter" to skip to content

අනාරක්ෂිතව මුහුණු ආවරණ බෙදන දේශපාලකයාගේ වීඩියෝව

ඉන්දියාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ නව කොරෝනා වෛරසය හමුවේ එරට තුළ තවත් සති දෙකකට අගුලු දැමීම දීර්ඝ කළ බැවිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අගුලු දැමීම නීතිගත කොට තිබෙන මෙවන් අවස්ථාවක ඉන්දීය භාරතී ජනතා පක්ෂ නායකයෙකු වන මනෝජ් තිවාරි විසින් මුහුණු ආවරණ බෙදාහරින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මනෝජ් තිවාරි අගුලු දැමීමේ නීතිය උල්ලංඝනය කර ඇති බවද ප්‍රකාශ කරමින් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරා මේ වන විට සංසරණය වෙමින් පවතින්නේ ජනතාව කලබලයට පත් කරමින් නමුත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය පැරණි වීඩියෝවක් බවයි. එසේම මෙම වීඩියෝව ව්‍යාජ ලෙස ඉදිරිපත් කර ඇති බවට තොරතුරු සොයා ගැනීමටද අපට හැකි විය.

2000ට අධික සංඛ්‍යාවක් මෙම වීඩියෝව බෙදාහදා ගෙන තිබූ අතර විවිධ දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ ගායකයන් ද මෙසේ මෙම වීඩියෝව බෙදාහදාගත් අයවලුන් අතර වේ. නමුත් මෙවැනි සිදුවීමක් බෙදාහදා ගැනීමට පෙර මෙහි සත්‍යතාවය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තේරුම් ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

මෙහි මනෝජ් තිවාරි සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අයුරු දැක්වේ. ඔහු මෙසේ ප්‍රකාශ කළත් මෙය 2020 මාර්තු මස 17 වන දින ද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබී තිබේ. එබැවින් තහවුරු වන්නේ මෙය අගුළු දැමීමෙන් පසුව සිදු වූ ක්‍රියාවක් නොවන බවයි. ඉන්දියාව තුළ අගුලු දැමීම ක්‍රියාත්මක වන්නේ 2020 මාර්තු මස විසි පස්වන දිනයි. එබැවින් මාර්තු 17 වන දින ප්‍රචාරය වූ මෙම වීඩියෝ පටය අගුලු දැමීම සම්බන්ධයෙන් කිසිදු සබඳතාවක් නොදක්වන බව පැහැදිලිය. එබැවින් මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව අනාවරණය වේ.

මෙහිදී මනෝජ් තිවාරි කොරෝනා වෛරස් රෝග ලක්ෂ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් විය යුතු බවත් කිසියම් ලක්ෂණයක් පහළ වුවහොත් වහාම ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළයුතු බවටත් ජනතාවට උපදෙස් ලබා දෙයි. හනුමාන් මන්දිරය අසල මාර්තු 17 වන දින මෙසේ ඔහු තම කොරෝනා දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිට ඇත. නමුත් ඔහු මෙම කොරෝනා දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ යෙදී ඇත්තේ ඉන්දියාව තුළ අගුලු දැමීමේ නීතිය ක්‍රියාත්මක වීමට පෙර බව මේ වන විට තහවුරු වී තිබේ.

කෙසේ නමුත් අවසාන වශයෙන් භාරතීය පක්ෂනායක මනෝජ් තිවාරිපමෙසේ අගුලු දැමීමේ නීති උල්ලංඝනය කර ඇති බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවත් තහවුරු වී තිබේ. එමෙන්ම මෙම වීඩියෝව ව්‍යාජ ලෙස පළ කළ වීඩියෝවක් බවත් මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මේ වන විට සොයාගෙන තිබේ. එබැවින් ජනතාව නොමග යවන මෙවන් පණිවිඩ හුවමාරු කර ගැනීමේදී මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බව සියලු දෙනා තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ.
– රිෂ්මි ඉෂාරා –

1,494 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk