Press "Enter" to skip to content

කොරෝනා මර්දන ආරක්ෂක අංශ හෙළා දකිමින් ඉන්දියාවේ බොරු ෆොටෝ

ලොව පුරා ආරක්ෂක අංශයන්ට මේ වනවිට විශාල වගකීමක් පැවරී ඇත. ඒ නව කොරෝනා වෛරස වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජකාරියේ යෙදීමට ඔහුට සිදු වීමත් සමගයි. ඉන්දියාවද මේ වන විට තමන්ගේ රට අගුලු දමා ඇත. මෙවන් අවස්ථාවක පොලිස් හිංසාවට ලක්වූයේ යැයි සදහන් කරමින් පහර කෑ පුද්ගලයන්ගේ ඡායාරූප පළ කරමින් විවිධ පුවත් එරට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

මෙම ඡායාරූප වල දැක්වෙන පරිදි පුද්ගලයන් දෙදෙනකුගේ පිටෙහි තුවාල සලකුණු දකින්නට ලැබේ. මෙම ඡායාරූප පළ වන්නේ පොලිසිය විසින් ඔවුන්ට පහර දුන් බවද පවසමිනි. නමුත් කරුණු විමර්ශනය කිරීමේ දී පෙනී ගියේ මෙම පින්තූර සමග පලවන ප්‍රකාශය අසත්‍යයක් බවයි. එමෙන්ම මෙම ඡායාරූප පැරණි ඒවා වන අතර මෙම අගුලු දැමීම සමග කිසිදු සම්බන්ධතාවයක් එම ඡායාරූපවලට නොමැති බව සොයාගෙන තිබේ.

මෙහි දැක්වෙන පළමු ඡායාරූපය 2019 ජූලි මස 13 වන දින ෆේස්බුක් පිටුවක පළව තිබී ඇති බව සොයා ගන්නට ලැබුණි. බොහෝ අය මෙම පින්තූරය 2019 ජූලි මාසයේදී බෙදා හදාගෙන ඇති බැවින් මෙම ඡායාරූපය නව කොරෝනා වෛරසය සමගවත් අගුලු දැමීම කඩකිරීමක් සමගවත් කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලිය.

එමෙන්ම දෙවැනි ඡායාරූපය පිළිබඳව කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය 2017 දෙසැම්බර් මස 14 වන දින ගනු ලද්දක් බවයි. එම කාල වකවානුව තුළදී වෙබ් අඩවියකද මෙම ඡායාරූපය සටහන් කර ඇත. එමෙන්ම 2018 වසරේදීත් ප්‍රචාරය වූ ට්විටර් පණිවිඩයක් ද අපට සොයා ගැනීමට හැකිවිය. එහි පවසා තිබෙන ආකාරයට බංගලාදේශයේ ඩකාහි සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම ඡායාරූප පළකොට ඇත.

කෙසේ වෙතත් මෙම කරුණු අනුව පෙනී යන්නේ මෙම ඡායාරූප 2020 මාර්තු මස 24 වන දින අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පනවන ලද අගුලු දැමීම සමග කිසිසේත් සම්බන්ධ නොවන බවයි. එසේම මෙවන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජනතාව නොමග යැවීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව අප තේරුම් ගත යුතුයි. එබැවින් සමස්ත ලෝකය ම ආරක්ෂා කරන ආරක්ෂක අංශ වෙත අපගේ සහයෝගය දැක්වීමටත් මෙවන් අනිසි ප්‍රචාරයන් සිදු කිරීමෙන් වැළකීමටත් අප දායක විය යුතුයි.

– රිෂ්මි ඉෂාරා –

1,332 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk