Press "Enter" to skip to content

රාමසාන් වෙනුවෙන් මුස්ලිම් අයට රජයේ තෑගි පාර්සල් දුන් කතාව

රාමසාන් උත්සවය මුස්ලිම්වරුන්ගේ විශේෂිතවූ සැමරුමකි. මේ රාමසාන් උත්සවයට සමගාමීව ඉන්දියාවේ තෙලන්ගනා රජය මුස්ලිම්වරුන් හට රාමසාන් තෑගි බෙදා දීම පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ. මෙම ත්‍යාගය රෝස පැහැති බෑගයක දමා ඇති බව පෙන්වන ඡායාරූපයක් සමග මේ පුවත විවිධ මාධ්‍යයන් ඔස්සේ බෙදා හදාගෙන ඇත. මෙම රෝස පැහැති බෑගයේ “Eid Mubarak, RAMZAN GIFT, Government of Telangana” යනුවෙන් සඳහන්ව තිබේ. රට නව කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති මෙවන් අවස්ථාවක තෙලන්ගනා රජය මුස්ලිම්වරුන්ට නොමිලේ ත්‍යාග බෙදා දෙනවා ද? යන්න ප්‍රශ්න කරමින් මෙම පින්තූරය සමග පළවූ පුවත බොහෝ දෙනා බෙදා හදාගෙන තිබුණි.

පසුගිය මැයි 11 වන දින “සුදර්ශන් නිවුස්” නාලිකාවේ ප්‍රධාන කර්තෘ සුරේෂ් චවාන්කේ හින්දි බසින් ශීර්ෂ පාඨයක් සහිතව එම ඡායාරූපය ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ “තෙලන්ගනා රජය රාමසාන් වෙනුවෙන් මුස්ලිම්වරුන්ට විශේෂ කට්ටල නොමිලේ ලබා දෙයි. රාම් නවාමි, හනුමාන් ජයන්ති සහ උගාඩි යන හින්දු උත්සවවලදී ඔබේ නිවෙස්වලින් ඉවත් වීමට පවා ඔබට ඔවුන් අවසර දී නැත. ” යනුවෙන් සඳහනක් සටහන් කරමිනි. මෙම පුවතත් සමඟ බොහෝ හින්දු භක්තිකයන්ද දැඩි කම්පාවට පත්වී තිබේ.

නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම ඡායාරූපය සමඟ ප්‍රචාරය වන පුවත ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි. AFWA විසින් සොයා ගෙන ඇති තොරතුරු වලට අනුව මෙම පුවත සමඟ ප්‍රචාරය වන ඡායාරූපය අවම වශයෙන් අවුරුදු පහකට ආසන්න කාලයක් පැරණි බව ඔවුන් තහවුරු කරගෙන ඇත. තෙලන්ගනාහි කේ චන්ද්‍රසේකර් රාඕ රජය වසර ගණනාවක් තිස්සේ මුස්ලිම්වරුන්ට රාමදාන් ත්‍යාගයන් බෙදා හරිමින් සිටියද කොවිඩ් 19 හේතුවෙන් මෙවර එය අත්හිටුවා තිබේ.

සුරේෂ් චවාන්කේ විසින් ට්විටර් කරන ලද මෙම පුවත සඳහා මේ වන විටත් 23,000 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සිය කැමත්ත (like) පල කර ඇත. එමෙන්ම 9,700 ක් පමණ එය නැවත තම තමන්ගේ ට්විටර් ගිණුම් හරහා බෙදාහදාගෙන තිබේ.

නමුත් මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමේ දී මෙය 2015 වසරේ දී ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලි වී ඇත. 2015 ජූලි මාසයේදී iChowk.in හි ලිපියක් සමග මෙම පින්තූරය පළකර තිබේ. ලිපියට අනුව එම වසර තුළදී තෙලන්ගනා රජය විසින් රාමසාන් උත්සවය නිමිති කොට ගෙන මෙම ත්‍යාගයන් මුස්ලිම්වරුන්ට ලබාදී තිබේ. නමුත් 2018 වර්ෂයේදී ද සාක්ෂි පෝස්ට් විසින් මෙම ඡායාරූපය පළ කරමින් ලිපියක් බෙදාහදාගෙන ඇත. මෙම ලිපිය ද කේසීආර් රජය මුස්ලිම්වරුන්ට ලබා දෙන රාමදාන් තෑගි හා සම්බන්ධය. කරුණු සියල්ල විමර්ශනය කිරීමෙන් පෙනී යන්නේ වසර ගණනාවක් පුරා විවිධ කාල පරාසයන් තුළ මෙම ඡායාරූපය කිහිප වතාවක්ම මෙසේ බෙදා හදාගෙන ඇති බවයි.

මැයි 5 වන දින මාධ්‍ය අමතමින් කේ.සී.ආර් රජය පැහැදිලි කර තිබුණේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය මේ වසරේදී රාමසාන් ත්‍යාගයන් බෙදා නොහරින බවයි. එහිදී වෛරස අර්බුදය හේතුවෙන් ආගමික රැස්වීම් දැනටමත් තහනම් කර ඇති අවස්ථාවක ත්‍යාගය බෙදා දීම වෙනුවෙන් ජනතාව එක්රැස් කිරීම නුසුදුසු බව ද ඔවුන් පෙන්වා දී ඇත.

මධ්‍යම සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව, මැයි 12 වනදා සවස දක්වා තෙලන්ගනාහි වෛරස ආසාදිතයන් 1,275 ක් සහ මරණ 30 ක් වාර්තා වී ඇත. කෙසේ වුවද අර්බුදය හේතුවෙන් ප්‍රාන්ත රජය සියළුම රැස්වීම් තහනම් කර ඇත. එමෙන්ම මුස්ලිම්වරුන්ට රාමදාන් තෑගි බෙදා දීමද අවලංගු කර ඇත. එබැවින් ඡායාරූපයක් සමඟ ප්‍රචාරය වන මෙම පුවත නොමඟ යවනසුළු ප්‍රකාශයක් බව තහවුරු වේ.
(රිෂ්මි ඉෂාරා)

3,363 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk